පිටරට ජීවිත - Sithu Amarasinga

Image may contain: one or more people, text and outdoorපිටරට ජීවිත (මදූ)
පිටරට ජීවත් වන මිනිසුන් ගේ සත්‍ය කතා කිහිපයක් ලියන්න කියලා හිතුන. මොකද හුගක් අය පෙන්නන දේ නෙමෙයි ඇත්තටම වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා කැමති වෙයිද දන්නෙ නෑ.
**************************
මදූ දරුවන් දෙදෙනෙක් සිටින 29 වියැති මවක් . පලමු විවාහයෙන් දුවෙක් හා දෙවන විවාහයෙන් පුතෙක් ද ඇත. දෙවන විවාහයෙ සැමියා ඇයට වඩා අවුරුදු 10 බාලය .
ඔහු සමන්. සමන් ගමේ සිටින මදාවියන්ගෙ සෙට් එකේ එකෙකි. දිනක් සමන් හා වෙනත් පිරිසක් අතර වලියක් ඇති වන අතර එක් පුද්ගලයෙක් බරපතල ලෙස තුවාල ලබා රෝහලට රැගෙන ගොස් සුලු මොහොතකින් මිය යනව. මේ සිද්ධිය දැන ගන්න පොලිසිය සමන්ව රිමාන්ඩ් බාරයට ගන්නව.
මෙය දැනගත් මදූ ඇයට ටික කලක් හෝ නිදහසේ ඉන්න ලැබෙන එකට සතුටු උනා. සමන් එක්ක ඇය සිටියේ චූටි පුතාට මාස 4 ක් නිසාත් දුව ඇගේ දෙමාපියන් ලග සිටින අතර මදූට එහෙට යාමට අවසර නැති නිසා. නැත්නම් මදූ ආ පයින් ගෙදර යනවා සමන්ගෙන් ගුටි කන්න බැරි නිසා.
කාලය ගෙවිල ගිහින් මේ වෙද්දී සමන් බන්ධනාගාර ගත වෙලා අවුරුදු 5 වෙනවා. මදූත් මේ වෙද්දී කිහිප දෙනෙක් සමග සම්බන්ධ පවත්වාගෙන ගියා.
දැන් පුතාටත් අවුරුදු 5ක් සමන් හිටියේ පුතා දකින්න නැතුව දුකින්. සමන් රිමාන්ඩ් උනායින් පස්සේ එක දවසක්වත් මදූ ආවේ නෑ සමන් බලන්න. ඒකට සමන්ගේ හිතේ මදූ ගැන තිබුනේ වෛරයක්. සමන්ගේ අම්මා මදූ ගැන හැම දෙයක්ම මේ වෙද්දී සමන්ට කියලා තිබුනේ. මදූ ඇර සමන්ගේ අම්මා යාළුවෝ හැමෝම ආව සමන්ව බලන්න. සමන් හිටියේ මදූගෙන් පලිගන්න බලාගෙන.
තවත් මාස කිහිපයක් ගත වෙද්දී සමන් බන්ධනාගාරයෙන් නිදහස් වෙලා එනවා. ඒ එන්නෙ මදූගෙන් පලිගන්න බලාගෙන.
මදූ වෙනද වගේම පාන්දර නැගිටලා ගේ දොර අස්පස් කරලා ලෑස්ති උනේ සුපුරුදු නාඩගම පටන් ගන්න. හොදට හැඩ වෙලා එලියට එද්දිම දැක්ක දෙයින් මදූගෙන කකුල් දෙකත් පන නැති උනා. මදූ දැක්කේ වැලේ වේලෙන්න දාල තිබුණු රෙදි සේරම රතුපාටින් සායම් වෙලා ලේ වගේ බේරෙන වතුර. මදූ බය වෙච්ච පාර දිව්වෙ සමන්ගේ අම්මා ඉන්න ගෙදරට. මදූ සමන්ගේ අම්මාට විස්තරේ කියලා අම්මව එක්කගෙන ඇවිත් රෙදි සේරම රතුපාට වෙලා තියෙන හැටි පෙන්නුවා. සමන්ගේ අම්මා මොකුත් දන්නෙ නෑ වගේ ගමේ පොඩි උන්ගේ වැඩක් වෙන්න ඇති කියලා ගෙදර ගියා. සමන්ගේ අම්මා මොනවා කිව්වත් මදූ නම් හිටියේ හොදටම බය වෙලා.
සමන් රිමාන්ඩ් එකෙන් එලියට ආවම කෙලින්ම ගියේ සමන්ගේ අම්මා ලගට. මහ රෑ ගෙදර යද්දී තමයි සමන් දැක්කේ මදූ එලියෙ වනල තියෙන රෙදි ටික. සමන්ට මදූව හොදටම බය කරලා විදවල මරන්න ඕන වෙලා තිබ්බෙ එ වෙද්දී. ඒකයි සමන් අම්මිගෙ උදව් ඇතුව මදූගෙ රෙදි සේරම රතුපාට සායම් වලින් දාල තියල පාන්දර තිබුණු විදිහට වැලෙන් දැම්මෙ.
සමන්ගෙ අම්මා ඇවිත් මදූ බය වෙච්ච තරම ගැන සමන් එක්ක කිව්වා. කවුරුවත් දන්නෙ නෑ සමන් රිමාන්ඩ් එකෙන් එලියට ආව කියලා. සමන් රිමාන්ඩ් උනායින් පස්සේ සමන්ගේ අම්මා සමන්ගෙ කාමරෙ වහල දැම්ම . එ නිසා දැන් සමන් ඉන්නෙ ඒ වහපු කාමරේ. කාටවත් සැක හිතෙන්නේ නෑ . සමන් ගෙදර ඉන්නවා කියලා. සමන්ගෙ ඊළඟ ප්ලෑන් එක අම්මට කිව්වා . අම්මා ඒකටත් උදව් කරනව කියලා සමන් දන්නව. මේ ලෝකෙ මොන දරුනු වැඩක් කරල ආවත් තමන්ගේ අම්මට දරුවෝ අපරාධ කාරයෝ හැටියට පෙන්නෙ නෑ ඒකට තමයි මව් සෙනෙහස කියන්නේ. සමන් උනත් දන්නව සමන් මොනා කලත් අම්මා සමන් එක්ක කියලා.
ටික දවසක් ගියා මදූගෙ හිතේ තියෙන බය නැති වෙන්න මොකද සමන් ගෙ අම්මා නිතරම ආව ගියා ඒ නිසා මදූගෙ හිතේ තියෙන බය නැති උනා. මදූ ආයෙමත් කලින් ජීවිතේ පටන් ගත්තා.
දවසක් මදූ ඉස්කෝලෙ ගාවට ගිහින් දුවව බලල ඇවිත් නාලහෙම තේකක් බොන්න හිතාගෙන කුස්සියට යද්දී ඉස්සර පැත්තේන් පූසො පොරකන සද්දයක් ඇහුන මදූට. පූසො එලවන්න හිතාගෙන මදූ ඉස්සරහට ගියාම පූසො පොරකන හේතුව දැක්කම නම් මෙදා පාර මදූ කලන්තෙ දාල වැටුනා. ඒ වෙන මොකක්වත් නෙමෙයි මදූගෙ ලොකු කරපු ෆොටෝ එකක් ඒකෙ කුකුල් ඔලුයි මාලු ඔලු වලින් හදපු මාලයක් දාල ගෙදර ඉස්සරහින් තියල. ඒක දැකල තමයි මදූට කලන්තෙ දාල වැටුනෙ.
ටික වෙලාවක් ගියාට පස්සෙ සමන්ගේ අම්මා මදූ හොයාගෙන එනවා මදූ මොකද කරන්නේ බලන්න. කුස්සිය පැත්තේ නැති නිසා ඉස්සරහට ගිහින් මදූව බලද්දී තමයි සමන්ගේ අම්මා මදූ වැටිල ඉන්නවා දකින්නෙ . සමන්ගේ අම්මා මදූට නැගිටලා වාඩි වෙන්න උදව් කරල විස්තරේ අසද්දී මදූ අඩ අඩ විස්තරේ කියලා ෆොටෝ එක පෙන්නල. සමන්ගේ අම්මා ඔය ඔයා තනියම ඉන්න නිසා බය කරන්න කව්රු හරි කරන්න ඇති කියලා.
මදූට මේ පාර නම් සමන්ගේ අම්මා එක්ක කේන්ති මොකද දෙපාරම ඒ ගෑනි එහෙම කිව්ව නිසා. මදූට සැකයක් ඇති උනා පුතා නැති නිසා අම්මාවත් තරහට එහෙම කරනවද කියලත්. ඒත් අවුරුදු 5 ගියාට පස්සෙ ඇයි එහෙම කරන්නේ කියලත් මදූට හිතුන.
සති 3ට පස්සේ සමන්ගේ යාලුවෙක් එනව මදූව හොයාගෙන . ඒ මදූගෙ තවත් එක පෙම්වතෙක්. ඒ ආපු කෙනා මදූට කිව්වෙ නම් සුබ ආරංචියක් නෙමෙයි .
ඒ ලැබුන ආරංචියෙන්හිතේ තියෙන සැකය ඇත්තක් උනා. ඒ තමයි සමන් රිමාන්ඩ් එකෙන් එලියට ආව කියලා සමන්ගේ යාලුවා මදූට කිව්වෙ. ඒකෙන් මදූ දැනගත්ත මේ වෙච්ච හැම දේටම සමන් වගේම සමන්ගේ අම්මාත් හවුල් කියලා. නමුත් මදූ ඒ බවක් දන්නවා කියලා සමන්ගේ අම්මිට ඇගෙව්වෙ නෑ. මදූ කල්පනා කලේම සමන්ගෙන් බේරෙන්න විදියක්. මදූට ආවේ එකම විසදුමක් විතරයි. සමන්ගෙන් බේරෙන්න තියෙන එකම විසදුම රට යන එක.
මදූ මාසෙකට දෙපාරක් යනවා කොළඹ පුතාව බලන්න. මදූ දන්න කෙනෙක් මාර්ගයෙන් පුතාව කොළඹ ජනප්‍රිය ඉස්කෝලෙකට දාල තිබුනේ. ඉතින් මදූට ඒක ලොකු අවස්ථාවක් උනා රට යන වැඩේටත්.
මදූ ඒජන්සි එකක් හොයා ගත්තට පස්සේ දවසක් පාන්දර පුතා බලන්න යන විදිහට කොළඹ එන්න පාරට යන්න සමන්ගේ අම්මා ඉන්න ගේ ගාවින් යන්න යද්දී ඈතදීම මදූ දැක්ක සමන් ළිඳ ලග නානව. මදූ පාන්දර 4 තියෙන බස් එකේ යන්න තමයි ඒ වෙලාවේ ආවෙ. සමන් මදූව දැකල මදූ දකින්න කලින් කුස්සියට යනවත් මදූ දැක්ක. ඒත් සමන් හිතුවෙ මදූ දැක්කේ නෑ කියලා.
මදූ කොළඹට 7:30 වෙද්දී ආව . ඒ ඇවිත් මදූ ඒජන්සිය එඩ්‍රස් එක හොයාගෙන ඒජන්සි එකට ගියා. අවශ්‍ය මුදල්ද ගෙවා දින 7 පුහුණුවට ඕන කරන දේවල්ද අරගෙන පුතාත් බලල ආපහු ගමට ආව.
මදූ එද්දි රෑ උනා මදූට එන්න හම්බ වුණේ අන්තිම බස් එකේ නිසා.
මදූ ගමට එද්දි රෑ 9 ට කිට්ටු වෙලා තිබ්බෙ ඒ නිසා මදූ පය ඉක්මන් කරල ගෙදර එන්න ආවා.
පැය බාගයක් යද්දී මදූට ගෙදර එන්න පුළුවන් වුණා. කලුවරේම මදූ ගෙදර දොර ඇරල ලයිට් එක දාල හැරෙද්දී සමන් සාලෙ පුටුවක ඉදගෙන මදූ දිහා බලන් ඉන්නවා දැක්ක මදූට උන්හිටිතැන් පවා අමතක වෙනව.
සමන් හිනාවෙලා ඇවිත් මදූව බදාගෙන නලලහේම ඉබල මදූට පාර්සලයක් දීලා මදූ දිහා බලල තේ එකක් ඉල්ලලා ඒ දෙන්නගෙ කාමරේට ගියා.
මදූට කරන්න ඕන මොකක්ද කියලා හිතාගන්න බැරුව කුස්සියට ගිහින් තේ එකක් හදන් ගිහින් සමන්ට දීල සමන් දිහා බලන් ඉදල ආපහු මොනා හරි හදන්න කුස්සියට ඇවිත්. මදූ කල්පනා කලේම සමන් ගැන ඇහ ගහගෙන ඉන්න ඕන කියලා ඒ වගේම සමන් ගේන කිසිම දෙයක් කන්නෙ නැතුව ඉන්නත් මදූ තීරනය කලා.
මදූ කල්පනා කර කරම ඉක්මනට බතුයි ව්‍යාංජන දෙකකුත් හදල සමන්ට කතා කලා කන්න. සමන් ආවේ ලොකු මන්නා පිහියක් අරගෙන මදූට හීන් දාඩිය දැම්ම පිහිය දැක්ක පාර සමන් ඉස්සරහට එද්දි මදූ පස්සෙන් පස්සට ගිහින් පිගන් රාක්කෙත් පෙරලගෙන බිම වැටුනා. සමන් ඉක්මනට පහත් වෙලා මදූව නැගිට්ටුවා. පිහිය දුන්නා මදූට මස් මාළු කපන්න කියලා. මදූ හොදටම බය වෙලා හිටිය මදූ හිතුවෙ මදූ ඉවරයි කියලා. සමන් දන්නව මදූ හොදටම බය උනා කියලා ඒත් ඒක ඇගෙව්වෙ නෑ. මදූ ඇයි ඔයා හිතුවද මං ඔයාව කොටන්න ආවේ කියලා හිතුවද ඔයා මට වැරැද්දක් කරලා නැහැ නෙ ඒ නිසා බයවෙන්න එපා කියලා හිනා වෙලා ගිහින් කෑම කන්න පටන් ගත්තා.
සමන් කාල ඉවර වෙලා කාමරේට ගියා නිදිමතයි කියලා. සමන් ගියාට පස්සෙ මදූත් ඉක්මනට කෑම කන්න පටන් ගත්තා. මදූට බයයි තමන් උයපු කෑම පවා තියල කන්න. කෑම කලා කුස්සිය අස්පස් කරලා පොඩි පිහියකුත් ඉනේ හන්ග ගෙනයි මදූ කාමරේට ගියේ. ඒ කෝකටත් සූදානමින් ඉන්න එක හොඳ නිසා. මදූ යද්දී සමන් හොදටම නිදි. මදූත් ඇදෙ පැත්තකින් හාන්සි වෙලා එළිවෙනකම් නිදි වගේ ඉදල.
දවස් 8 ක් ගෙවිල ගිහින් මදූ පුහුණුවට යන දවසත් ආවලු. මදූ යන එන තැන් සමන් කවදත් හෙව්වෙ නැති නිසා මදූ පුහුණුවට ගියා. සුපුරුදු පරිදි නොනිදා රැය පහන් කරන මදූ උදේට පුහුණුවට යද්දී බස් එකේ නිදා ගන්න ටික තමයි ඉතින් නින්දක් කියලා නිදා ගන්නේ.
දවස් 15 පුහුණුවත් ඉවර කරලා මදූගෙ රට යන ගමනට දිනත් ලං උනා. මදූ සුපුරුදු පරිදි කාලය ගත කලා සමන්ට සැක නොහිතෙන්න.
හා හා පුරා කියලා මදූ රට යන දවසත් ආව එදා සමන් ගෙදර හිටියේ නෑ ගමේ මළගෙයක් වෙලා සමන් එහේ හිටියේ. බෑග් ටික කලින්ම ලෑස්ති කරල යාලුවෙක්ගෙ ගෙදර තියලා තිබුනේ. කියපු වෙලාවට මදූගෙ යාළුවා බඩු ටිකත් අරන් වෑන් එකේ මදූ ඉන්නවා කිව්ව තැනට ආව.
පැය ගානක ගමනකින් මදූ ගුවන්තොටුපලට ආව. මේ හැම දේකටම උදව් කරපු යාලුවට ස්තුති කරලා ගුවන්තොටුපල ඇතුලට ගිය මදූ චෙකින්ග් ඔක්කොම කරගෙන ජීවිතේ පලවෙනි වතාවට ෆ්ලයිට් එකකට ගොඩ උනා. එයාර් හොස්ටස්ලගෙ උදව්වෙන් තමන්ගේ ෂීට් එකට ඇවිත් ඉදගෙන වටපිට බලන්න ගත්තා. ජීවිතේ පලවෙනි වතාවට ලැබිච්ච අත්දැකීම නිසා මදූ සතුටෙන් වගේම බයෙන් හිටියේ. සතුට සමන්ගෙන් ඈතට යන්න ලැබිච්ච එකට. බය ෆ්ලයිට් එක අහසේ යද්දී කඩන් වැටෙයි කියලා. ෆ්ලයිට් එක අහසට එසවෙද්දි බයටම ඇස් දෙක වහගත්ත මදූට දන්නෙම නැතුව නින්ද ගිහින්.
.....................................
යාළුවනේ මේක සත්‍ය කතාවක් ඒ නිසා කිසිම මවා පෑමක් නෑ මේ මදූ මට ඇගේ කතාව කියපු විදිහටම තමයි මාත් ඇගේ කතාව ඇගේ වචනයෙන්ම ලිව්වෙ.
ඔයාල මේ කතාවට අකමැති වෙන්න පුළුවන් මොකද මේ කතාවෙ ආදරණීය බොලද සිදුවීම් නැති නිසා. හැමෝම ආදර කතා. ලියනව ඒ නිසයි මං හිතුවෙ පිටරට ජීවිත් වන මිනිසුන්ගෙ ජීවිත කතා ටිකක් ලියන්න. ඇයි එයාල රට ආවේ ලංකාවේ ඉද්දි ජීවත් වුණේ කොහොමද රට ඇවිත් ජීවත් වෙන්නේ කොහොමද අනාගත බලාපොරොත්තු මොනවද කියලා ඒ ඒ පුද්ගලයාගෙන් අවසරය ඇතුව ලියන්න හිතුවෙ.
කතාව මුල ඉදලම මගෙ වෝල් එකෙත් බලන්න පුළුවන්. ජේසු පිහිටයි!

No comments